LISTEN US ONLINE

Listen with Winamp/iTunes
Listen with Windows Media Player

Thursday, February 3, 2011

ලංකා ජාතික ව්‍යාපාරය හා නිදහස් සටන History Of Sri Lanka

බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පාලනයෙන් නිදහස, ලබා පෙබරවාරි 04 දිනට 60 වන සංවත්සරය සැමරීමට සුදානම් වන මෙම අවස්ථාවේ එදා අප රටේ සියලුම ජාතින් සමගි සම්පන්නව එක්සත් වී එකම බලවේගයක් බවට පත් වී ගෙනගිය “ජාතික ව්‍යාපාරය”, “නිදහස් සටන් ව්‍යාපාරය” දක්වා වර්ධනය වී රට නිදහස් කරගත් ආකාරය පිළිබඳව වර්තමාන දේශපාලන, ආර්ථික, සමාජ හා සංස්කෘතික පසුබිම තුල සිට ආපසු හැරී බැලිමේ වැදගත්කම අවධාරණය කරමි. ජාතික ව්‍යාපාරයක් යනු රටක දේශපාලන, ආර්ථික, සමාජීය හා සංස්කෘතික වශයෙන් මුහුණ පා සිටින විපතකින් රටත්, ජාතියත් මුදවා ගැනිමේ අරමුණින් දියත් කරනු අරගලය හෝ ව්‍යාපාරයකි.
පසුබිම
අප රටේ මෙම ව්‍යාපාරය 20 වන සියවසේ මුල් කාලයේදි ආරම්භ විය. මේ කාලය වන විට කෝල්බෲක් ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵලක් වශයෙන් ධනේෂ්වර මධ්‍යම පංතියේ බ්හිවිම ආරම්භ වී තිබිනි. එය කොටස් 02 කින් යුක්ත විය.
1 වන කොටස වුයේ විදේශිය ධනපති කණ්ඩායමයි
I  වතු ව්‍යාපාරිකයන්, II වෙළඳ ව්‍යාපාරිකයන්, III බැංකුකරුවන් IV රාජ්‍ය සේවකයින්, මෙයට අයත් විය.

2 වන කොටස වුයේ වර්ධනය වෙමින් පැවති දේශිය ධනපති පංතියයි.
I  දේශිය වතුහිමි වැවිලිකරුවන්
II වෘත්තීය, මධ්‍යම පන්තියක් වන - වෛද්‍ය, නීතීඥ
රජයේ නිලධාරීන් ලිපිකරුවන් වැනි සේවකයින්ගෙන් යුක්ත විය.

ජාතික ව්‍යාපාරයට නායකත්වය දුන්නේ මෙහි 2 වන කොටසට අයත් මධ්‍යම පංතිකයන්ය.

ඉංග්‍රිසි භාෂාව සමග යටත් විජිත අධ්‍යාපනය ලැබු මෙම මධ්‍යම පංතිකයින්, බටහිර සංස්කෘතිය වැලඳගෙන ඵ් අනුව තම සිතුමි පැතුමි හා චර්යාවන් ‍ගොඩ නගාගන්නා ලදී.මොවුන්ගේ දරුවන් බටහිර රටවල උසස් අධ්‍යපනය ලබා, නීතිඥ, වෛද්‍ය, ඉංජිනේරු හා අර්ථ ශාස්ත්‍රය, දේශපාලනය, යන අංශ වලින් උපාධි ලබා මෙරටට පැමිණි උගත් මධ්‍යම පංතික තරුණ පිරිසක්ද විය.

මෙරට ජාතික ව්‍යාපාරය තුල මෙම උගත් තරුණ පිරිස අති විශාල බලවේගයක් වී තිබුනි. මෙම උගත් තරුණ ලාංකිකයන්ගේ ‘චින්තනය’ කෝණ 2 කට බෙදී ගියේය.
I කණ්ඩායම - ඉංග්‍රීසීන් අත පැවැති පාලන බලය නිදහස් කර ගෙන තම අතට පත්කර ගැනිම, අරමුණ කර ගත්හ.   II කණ්ඩායම - අධිරාජ්‍යවාදයට හා යටත් විජිතවාදයටත් විරුද්ධව සිටි අතර, රට මුලුමනින්ම නිදහස් කර ගැනිමේ රැඩිකල්වාදි ව්‍යාපාරයක් දියත් කළ ඔවුන්ගේ අරමුණ වුයේ “සාමාජ ප්‍රතිසංස්කරණ සහිත සමාජවාදී පාලන ක්‍රමයක්”ගොඩ නැගීමයි.

ජාතික ව්‍යාපාරය පණගැන්වු වෙනත් බලවේග

1. සිංහල, ද්‍රවිඩ, මුස්ලිම්, බෞද්ධ, හින්දු, ඉස්ලාමිය ආගමික බලවේගයයි.
2. අප රටේ දේශිය ආගම් භාෂා සාහිත්‍යයන් හා සංස්කෘතීන්ද බටහිර සංස්කෘතිය හා මිෂනාරි ආගමික අධ්‍යාපනයත් නිසා විශාල පරිහානියකට ගොදුරු වි පැවතුනි.
මෙම තත්වයෙන් රට මුදවා ගැනිම, මෙම ජාතික, ආගමික බලවේගයේ ප්‍රධාන අරමුණ විය. මෙම ජාතික ආගමික බලවේගය, ආරම්භ කළ ජාතික, ආගමික හා සංස්කෘතික පුනරුද ව්‍යාපාරය “ ජාතික ව්‍යාපාරය” ජාතික ව්‍යාපාරයේ “මුලාරම්භක බලවේගය” වු බව කිව හැකිය.

3. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ “පානදුරා වාදය” ප්‍රමුඛ ආගමික වාද විවාද.
4. විදුදය, විදුලකර ප්‍රධාන කොට රට පුරා ඇති වු පිරිවෙන් අධ්‍යාපනය.
5. අනගාරික ධර්මපාල තුමාගේ ‘මහා බෝධි සංගමය’ හා ‘තරුණ බෞද්ධ සංගමය’.
6. ඕල්කට්තුමාගේ ‘පරමවිඥාර්ථ බෞද්ධ සංගමය’
7. බෞද්ධ පාඨශාලා රටපුරා ආරම්භ කිරිම.
8. හින්දු හා මුස්ලිම් ජාතික ආගමික අධ්‍යාපනික ව්‍යාපාරය. මෙහි නායකත්වය - සර් පොන්නම්බලම් රාමනාදන්,     පොන්නබලම් අරුනාචලම් තුමාද, ආරුමුග නාවලර් තුමා සහ සිද්ධිලෙබ්බේ තුමාද යන අය ඉසුලුහ.

9. අමද්‍යප ව්‍යාපාරය
ජාතික ව්‍යාපාරයේ විශාලතම බලවේගය වුයේ අමද්‍යප ව්‍යාපාරයයි. ඉංග්‍රිසීන්ගේ සුරාබදු ප්‍රතිපත්තියට විරුද්ධව මෙම ව්‍යාපාරය ඇති වු අතර 1913 – 1914 කාලයේ මෙම සංගමය පුළුල් ලෙස පැතිරි ගියේය. මෙය ආගමික මුහුණුවරක් ගත්තද මෙය පිටුපසු වුයේ ඉංග්‍රීසී පාලනයට විරුද්ධ ජනතාවගේ දේශපාලනික, විරෝධතා බලවේගයයි.

අමද්‍යප ව්‍යාපාරයට නායකත්වය දුන් බෝහෝ දෙනා මෙකල ඇති වු දේශපාලන ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයටද සම්බන්ධව සිටි නිසා මෙම ව්‍යාපාරය අතර දැඩි සම්බන්ධතාවයක් ඇති විය. ජාතික ව්‍යපාරය තුල සාමාන්‍ය ජනතාව නියෝජනය වු එක් ප්‍රබල ව්‍යපාරයක් වුයේ මෙම අමද්‍යප ව්‍යාපාරයයි.

10. පුවත්පත් හා ලේඛකයෝ
ජාතික ව්‍යාපාරයට ස්ව භාෂා පුවත්පත් පත්‍රිකා හා වෙනත් ප්‍රකාශන වලින්ද විශාල පිටිවහලක් ලැබිනි. ලක්මිණි පහන, සිංහල බෞද්ධයා වැනි පුවත් පත් වලින් සිදු වු මෙහෙය අති විශාලය. පියදාස සිරිසේන, මුනිදාස කුමාරතුංග, හේමපාල මුනිදාස හා ටිබේටි ජාතික එස්. මහින්ද හිම වැනි ලේඛකයන්ගේ පොත පතද ජාතික ව්‍යාපාරය පණ ගැන්වීමට හේතු විය.

11. ආණ්ඩු ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය
ජාතික ව්‍යාපාරයේ ප්‍රබල බලවේගයක් බවට පත්විමට ආණ්ඩු ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයද හේතු විය. මුලදී මෙම ව්‍යාපාරයේ අරමුණ වුයේ රට නිදහස් කර ගැනිම නොව ව්‍යවස්ථාදායක සභාවේ නිලනොලත් බහුතරය වැඩිකර ගැනීමටත්, ඡන්ද බලය පුළුල් කර ගැනිමටත්ය. මෙම ආණ්ඩු ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ මූලික ලක්ෂණය වුයේ, නොයෙකුත් සමිති සාමගම් පිහිටුවාගෙන ගෙනගිය සාමකාමී උද්ඝෝෂණ ව්‍යාපාරයක් විමයි.
එම සංවිධාන අතර,
සිලෝන් නැෂනල් ඇසෝසියේෂන්
හලාවත සංගමය
යාපන සංගමය
පහත රට වැවිලි කරුවන්ගේ සංගමය - වැනි සංවිධාන වැදගත් වේ.

එහෙත් ඒවා ජාතික මට්ටමෙන් ඇති වු උද්ඝෝෂණ නොවිම කැපී පෙනෙන ලක්ෂණයක් විය. - ප්‍රාදේශිය මට්ටමේ ඒවා විය. ප්‍රතිසංස්කරණ ඉල්ලීම් අතර – 1908 දී සර් ජේම්ස් පිරිස් මහතාගේ ප්‍රතිසංස්කරණ සංදේශය වැදගත් විය. එහි ජාතික ස්වරූපයක්ද දක්නට තිබීම එයට හේතු විය.

කලක් තිස්සේ ගෙනගිය උද්ඝෝෂණවල ප්‍රතිපලයක් වශයෙන් 1910 ආණ්ඩු ප්‍රතිසංස්කරණය ලබාදුන්නේය. මෙම ආණ්ඩු ප්‍රතිසංස්කරණය තුලින් පළමු වටර ව්‍යවස්ථාදායක සභාවට ලාංකික නියෝජිතයෙකු පත්කර ගැනිමේ අවස්ථාව ලැබිනි. ඒ අනුව ප්‍රථම උගත් ලාංකික නියෝජිතයා වුයේ සර් පොන්නම්බලම් රාමනාදන් මහතාය. සිංහල, දෙමළ, මුස්ලිම් යන උගත් ලාංකිකයන්ගේ ඡන්දයෙන් ඔහු පත්වීම, අද දවසේ විශේෂ අවධානයට ලක්විය යුතු වැදගත් කාරණාවක් විය යුතුය. එතුමා ව්‍යවස්ථාදායක සභාව තුලත් ඉන් පිටතදීත් ප්‍රතිසංස්කරණ උද්ඝෝෂණ ව්‍යාපාරය ගෙන ගි‍යේය.

12. 1915 සිංහල මුස්ලිම් ගැටුම
මෙම අරගලය ජාතික ව්‍යාපාරය ශක්තිමත් කීරිමට බෙහෙවින් බල පෑවේය. මහනුවර ගම්පලින් ආරම්භ වු මෙම ගැටුම, කොළඹ කුරුණෑගල හා දිවයිනේ සෙසු ප්‍රදේශවලටද පැතිරි ගියේය. මෙම ගැටුමට හේතු වුයේ ගම්පල බෞද්ධ පෙරහැරක් සම්බන්ධ සිද්ධියකි.

මෙම පෙරහැර සදහා අවසර දිමේදී ගම්පල මුස්ලිම් පල්ලිය ඉදිරියෙන් ගමන් කරන විට ඊට යාර 100 ක් ඇතුලත නැටුම් - ගැයුම් හා බෙර වාදානය නොකළ යුතු බවට නියෝගයක් නිකුත් කර තිබිනි. මෙම නියෝගය නිත්‍යානුතූල නොවන බව දිස්ත්‍රික් උසාවිය තීන්දුවක් දුන්නේය. එම තින්දුවට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට කළ අභියාචනයේදි මුල් තීන්දුව නිවැරදි බව තීන්දු කළේය. අරගලයට හේතුව එය විය.

මේ වන විට 1 වන ලෝක යුද්ධය ආරම්භ වී තිබිනි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය බලවත් අසීරූ තත්වයකට පත් වී තිබුන නිසා ලංකාවේ ඇති වු මෙම “සිංහල මුස්ලිම් අරගලයට” ආණ්ඩු විරෝධි පසුබිමක් ඇතැයි සැකකොට රොබට් චාමස් ආණ්ඩුකාරයා එය ඉතා දරුණු ලෙස මර්දනය කළේය.

අමද්‍යප ව්‍යාපාරයේ සහ ජාතික ව්‍යාපාරයේ නායකයින් හා වෙනත් නායකයින්ද සිරභාරයට ගත්තේය. ඔවුන් අතර - එෆ්. ආර්. සේනානායක, ඩී. එස්. සේනානායක, ඩී. බී. ජයතිලක, සී බටුවන්තුඩාව, ඊ. ඒ ගුණසිංහ, සී.ඒ. හේවාවිතාරණ යන අය වුහ. යුද නීතිය (මාෂල්ලෝ) පැනවිය.

විලියම් පේදිරික් ඇතුලු සිංහලයෝ කිහිපදෙනෙක් කිසිදු නඩු විභාගයකින් තොරව මරා දැමුහ. අධිරාජ්‍ය ආණ්ඩුවේ මෙම දරුණු මර්දනය නායකයින්ගේ බලවත් විරෝධයට හේතු විය. සිංහල බෞද්ධයින්ට සිදු වු මෙම අසාධාරණය ගැන පරීක්ෂණ කමිටුවක් ඉල්ලා සිටියත් රජය එය නොසලකා හැරීය. බ්‍රිතාන්‍ය ආණ්ඩුව දක්වා නායකයින් එම ඉල්ලිම ගෙනගොස් ආණ්ඩුකාරයා ගෙන්වා ගැනිමටත්, කමිටුවක් ලබාදීමටත් කටයුතු කිරිම නායකයින්ගේ ජයග්‍රහණයට හේතු විය.

මෙම අරගලය බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව ජාතික නායකයින් අතර ප්‍රබල එකමුතුවකට හේතු විය.මෙම අරගලයෙන් නායකයින්ට වැදගත් අත්දැකිමක් ලබා ගත හැකි විය. එනම් මෙවැනි අවස්ථාවක කටයුතු කිරිමට “ප්‍රබල ජාතික සංවිධානයක” අවශ්‍යතාවය වටහා ගැනිමටයි.

ලංකා ජාතික සංගමයේ ආරම්භ කිරිම
ඉහත සඳහන් කළ අත්දැකිමට අමතරව මෙම අවධියේ ඉන්දියා‍වේ මහත්මා ගාන්ධි හා ශ්‍රී ජවල්හල්ලාල්නේරු ඇතුලු නායකයින්ගේ මූලිකත්වයෙන් ආරම්භ කර බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ආණ්ඩුවට විරුද්ධව ගෙනගිය “ඉන්දියානු නිදහස් සටන් ව්‍යාපාරය” ලංකා නායකයින්ගේද ඇස් ඇරවන්නක් විය.

එහි ආභාෂය ලැබු ලංකා ජාතික නායකයින් එය අනුගමනය කරමින් “ලංකා ජාතික සංගමය” 1919 දෙසැම්බර් මාසයේදී පිහිටුවා ගන්නා ලදී. ආණ්ඩු ප්‍රතිසංස්කරණ උද්ඝෝෂණ සඳහා මීට පෙර පිහිටුවාගෙන තිබුනු
ලංකා ප්‍රතිසංස්කරණ සංගමය
ලංකා ජාතික සංවිධානය
හලාවත සංගමය
යාපන සංගමය සහ
පහත රට වැවිලිකරුවන්ගේ සංගමයද එකතු කොටගෙන “ලංකා ජාතික සංගමය” පිහිටුවා ගන්නා ලද බව සිහිකටයුතු වැදගත් කරුණකි.

ලංකා ජාතික සංගමය පිහිට වීමට මුල් වූ නායකයෝ පුනරුද ව්‍යාපායේ හා ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ කැපි පෙනුන නායකයෝම “ලංකා ජාතික සංගමය” පිහිටුවා ගැනිමට මුල් වූහ. ඔවුන් නම් :
සර් පොන්නම්බලම් රාමනාදන්
සර් පොන්නම්බලම් අරුනාචලම්
සර් ජේම්ස් පිරිස්
එෆ්. ආර්. සේනානායක
ඩී. එස්. ‍සේනානායක
ඩි. බී. ජයතිලක
ඊ.ඩබ්. පෙරේරා
එස්. ඩබ්. ආර්. ඩි. බණ්ඩාරනායක (සිංහල මහාසභාව)
දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ
ඊ. ඒ. ගුණසිංහ

ලංකාවේ පිහිටවු පළමුවන “දේශපාලන සංවිධානය” වුයේ මෙම “ලංකා ජාතික සංගමය” යි. ඉහත සදහන් නායකයින් ඔවුන්ගේ දේශපාලන කටයුතු ගෙන ගියේ “ලංකා ජාතික සංගමය” වේදිකාව කරගෙනය. මෙහි ප්‍රථම සභාපති වුයේ ස්ර් පොන්නම්බලම් අරුනාචලම්ය.

ඔහුගේ නායකත්වයෙන් 1920 දී බ්‍රිතාන්‍යයට ගිය නියෝජිත පිරිසක් යටත් විජිත භාර ලේකම්ට ඉදිරිපත් කළ ආණ්ඩු ප්‍රතිසංස්කරණ යෝජනා මාලාවේ ප්‍රතිඵලයක් වශයෙන් 1920 ආණ්ඩු ප්‍රතිසංස්කරණය ලැබුනි. “මැනිං ප්‍රතිසංස්කරණය” නමින්ද හැදින්වෙන්නේ මෙයයි.

1920 ආණ්ඩු ප්‍රතිසංස්කරණයට ලංකා ජාතික සංගමයේ විරෝධය
1. ජාතින් අතර අසමගිය ඇති කිරිමට මගපාදා ඇති බව
2. වගකිම් සහිත ආණ්ඩු ක්‍රමයක් සඳහා මගපාදා නැති බව සංගමයේ චෝදනාවට ලක්විය.

ලංකා ජාතික සංගමයේ මත භේද ඇතිවිම
1921 ආණ්ඩු ක්‍රමය යටතේ පැවැත්වු මැතිවරණයට ආසන බෙදා ගැනිම සම්බන්ධයෙන් සිංහල හා ද්‍රවිඩ නායකයින් අතර මතභේද ඇති විය. ආරම්භයේ සිටම වාගේ මෙහි මතභේද පැවැතිනි. මධ්‍යස්ථ මතධාරී හා රැඩිකල්වාදී දෙකොටසක් විය.මෙහි සභාපති පොන්නම්බලම් අරුනාචලම් මහතා මධ්‍යස්ථ මතධාරියෙකු විය. මධ්‍යස්ථ මතධාරී කොටස පැහැදිලිවම දේපල හිමි බුද්ධිමය වෘත්තීන්හි යෙදුන සමාජ පංතියේ අයිතිවාසකම් වෙනුවෙන් පෙනි සිටියහ.

මේ අතර මැතිවරණ ප්‍රතිඵල නිසා මේ මතභේද තවත් උග්‍රවිය. මැතිවණයේදී සිංහල නි‍යෝජිතයෝ 13 ක් වු අතර ද්‍රවිඩ නියෝජියන් 03 ක් තේරිපත්වීම එයට හේතු විය. තමන්ගේ නියෝජනය ප්‍රමාණවත් නැති බවත් අනාගතයේදි මේ තත්වය තවත් දුර්වල විය වියහැකි බවත් ද්‍රවිඩ නායකයෝ සිතූහ.

මෙම අසමගිය වැඩි දියුණු විමේ ප්‍රතිඵලයක් වශයෙන් 1921 දී අරුනාචලම් මහතා ලංකා ජාතික සංගමයෙන් ඉවත් වී “ද්‍රවිඩ මහජන සභාව” පිහිටුවන ලදී. මින් පසුව ලංකා ජාතික සංගමයක්, ද්‍රවිඩ මහජන සභාවත් වෙන වෙනම ප්‍රතිසංස්කරණ ඉල්ලිම ඉදිරිපත් කිරිම, ආරම්භයේදි ශක්තිමත් ලෙස ගොඩනැගි තිබුනු ජාතින් අතර සමගි සමාදානය බිදවැටිම ආරම්භවිය. මෙම බිඳවැටීම පසුකාලිනව ජාතික දේශපාලනය තුල ඔඩු දුවන පිළිකාවක් බවට පත් වී ඇත.

වර්තමානය තුල අති විනාශකාරි, බිහිසුනු ත්‍රස්තවාදි යුද්ධයකට මුලු මහත් ජාතියම ගොදුරු වී සිටින්නේ එදා අපේ ජාතික නායකයන් අතර ඇති වු මෙම බෙදිමය. මෙම බෙදිමට අදමෙන් එදා සිටි සමහර නායකයින්ගේ කුහක දේශපාලනයද බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ආණ්ඩුවේ “බෙදා වෙන්කර පාලනය කිරිම” ප්‍රතිපත්තියද හේතු වි ය. බ්‍රිතාන්‍ය යටත්විජිත ආණ්ඩුව, ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය තුලට “ජාතිභේදවාදි නියෝජන ක්‍රමය” රිංග විමෙන් ඒබව හොදට පැහැදිලි වේ.

මෙම ක්‍රියාදාමය තුලින් පැහැදිලි වුයේ ඉන්දියානු ජාතික සංගමය ආදර්ශයට ගෙන මුලදි සමගි සමාදානයෙන් ගොඩනගා වර්ධනය වු “ලංකා ජාතික ව්‍යාපාරය” යටත් විජිත ආණුඩුවට ප්‍රබල අභියෝගයක් වු බැවින් අධිරාජ්‍ය උපක්‍රම විසින් එය භේද භින්න කර දුරවල කිරිමේ ක්‍රියා දාමයයි.

ඊ. ඒ. ගුණසිංහ ලංකා ජාතික සංගමයෙන් ඉවත් විම.
මධ්‍යස්ථ හා රැඩිකල්වාදින් අතර පැවැති ගැටුමේ ප්‍රතිඵලටක් වශයෙන් 1922 දි ඊ. ඒ ගුණසිංහ මහතා ඇතුලු තරුණ කණ්ඩායම “ලංකා ජාතික සංගමයෙන් ඉවත් වි “ලංකා කම්කරු සංගමය” පිහිටුවා ගන්නා ලදී. (එය වෘත්තීය සමිතියකි) මින්පසු “ලංකා ජාතික සංගමය” විශාල වතුහිමි ධනවත් වෙළෙඳ ව්‍යාපාරකයින්ගේත් , කාර්මික ව්‍යාපාරවලට සම්බන්ධ වු පහතරට උගත් ධනවත් අයටත් සීමා වු සංවිධානයක් බවට පත්විය.

1924 ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය
ලංකා ජාතික සංගමය ගෙනගිය ආණ්ඩු ප්‍රතිසංස්කරණයක් ලබා දුන්නේය. මේ මගින් පළමු වරට නිල නොලත් පක්ෂයේ බහුතරයක් ව්‍යවස්ථා දායක සභාවේ ඇති වු නමුත් ඔවුන්ට කිසිදු පාලන බලයක් හෝ වගකිමක් හිමි නොවිම, කැපී පෙනුන විශේෂ ලක්ෂණයක් විය. සියලුම වගකිම් ආණ්ඩුකාරයා අත තිබිම ගැන ලංකා ජාතික සංගමය ය විරුද්ධ විය.

අගමැති සහිත ඇමති මණ්ඩලයක්, කථානායකවරයෙක් සහ පාලන වගකිම් සහිත ආණ්ඩුක්‍රමයක් ඉල්ලා ලංකා ජාතික සංගමය දිගටම උද්ඝෝෂණය කළේය.මෙහි ප්‍රතිඵලයක් වශයෙන් 1927 දි ඩොනමෝර් කොමිෂන් සභව පත්කර එවීය. එම කොමිෂන් සභාවේ නිර්දේශ අනුව මෙ‍තෙක් පැවැති ආණ්ඩුක්‍රමය ‍අහෝසිකොට නව මාදිලියේ ආණ්ඩුක්‍රමයක් ලබාදෙන ලදි. මේ මගින් 7/10 ක පාලන වගකීම් සහිත ආණ්ඩුක්‍රමයක් ලබාදෙන ලද බව ඩොනමෝර් කොමිසම කියා සිටියේය.

මෙම ‍ යෝජනාවලින්ද සැහීමකට පත් නොවු ලංකා ජාතික සංගමය උද්ඝෝෂණ ව්‍යාපාරය දිගටම කරගෙන ගියේය. ලංකා ජාතික සංගමය ගෙනගිය උද්ඝෝෂණ ව්‍යාපාරයන්ගේ විශේෂ ලක්ෂණය වුයේ රැස්වීම්, ලියුම් කියුම් හා පෙත්සම්වැනි උපාය මාර්ග පමණක් අනුගමනය කිරිමයි.

සර්වජන ඡන්ද බලය හා ලංකා ජාතික සංගමය
ඩොනමෝර් කොමිසම විසින් ඉදිරිපත් කළ ඉතාමත් වැදගත්ම යෝජනාවක් වු “සර්වජන ඡන්ද බල ප්‍රදානය” කිරිමට ලංකා ජාතික සංගමය එකහෙලා විරුද්ධ විය. කම්කරු හා සාමාන්‍ය ජනතාවට ඡන්දබලය ලැබිම ගැන දැඩි ලෙස විරුද්ධ විය. ඡන්දය පාවිච්චි කිරිම ගැන කිසි අවබෝධයක් නැති පිරිසකට ඡන්ද බලය දිමෙන් ඡන්ද දුෂණ ඇති විය හැකි බවත් එහි වටිනාකම නැති වන බවත් සංගමය දැඩි ලෙස අවධාරණය කළේය.

සර්වජන ඡන්ද බලයට පක්ෂව සිටියේ ඊ. ඒ ගුණසිංහ මහතාගේ “ ලංකා කම්කරු සංගමය” පමණි. පසුව ලංකා ජාතික සංගමයද කැමැත්ත ප්‍රකාශ කළේය. ලංකා ජාතික සංගමය ඩොනමෝර් අණ්ඩුක්‍රමයට කැමැති නොවිය. රාජ්‍ය නිලධාරින් තිදෙනා අහෝසි කළයුතු බවටත්, අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයක් සිහිත පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් ඉල්ලා සිටින ලදී.

ඒ අනුව බ්‍රිතාන්‍ය රාජ්‍ය 1943 දි රාජඥාවක් නිකුත් කරමින් ලෝක යුද්ධය අවසන් වු වහාම නිදහස ලබාදෙන් බවත් තමන් කැමති සුදුසු ආණ්ඩුක්‍රමයක් යෝජනා කරන ලෙසත් ඩොනමෝර් අමාත්‍ය මණ්ඩලයට දන්වා සිටියේය. ඒ අනුව ඇමතිවරු ආණ්ඩුක්‍රම පනතක් සකස් කළහ. එය “ඇමතිවරුන්ගේ කෙටුම්පත් පනත” නමින් හැදින්වේ.

සෝල්බරි ආණ්ඩුක්‍රමය
1946 දි ‍සෝල්බරි කොමිෂම විසින් නව ආණ්ඩුක්‍රමයක් යෝජනා කරන ලදී. එය 1947 සිට ක්‍රියාත්මක විය. 1972 දක්වා ක්‍රියාත්මක වුයේ එම ආණ්ඩුක්‍රමයයි. සෝල්බරි ආණ්ඩුක්‍රමය යටතේ මහා මැතිවරණයකට ඉදිරිපත්විමට පක්ෂ ක්‍රමයක් අවශ්‍ය වු නිසා “ලංකා ජාතික සංගමය” “එක්සත් ජාතික පක්ෂය” පිහිටුවා ගත්තේය. ලංකා ජාතික සංගමය 1947 මහා මැතිවර්ණයට මුහුණ දුන්නේ එක්සත් ජාතික පක්ෂයෙනි.

1947 ලංකා ස්වාධිනතා පනත මගින්, 1948 පෙබරවාරි 04 වන දින ඩොමිනියන් තත්ත්වයෙන් නිදහස ලැබිමෙන් පසු ලංකා ජාතික සංගමයත් ජාතික ව්‍යාපාරයත් අවසන් හුස්ම හෙලීය.

නූතන ජාතික ව්‍යාපාරය - මහින්ද චින්තනයයි
නිදහස ලබා 60 වසරක් සිපිරෙන මේ මොහොතේ ජාතික ව්‍යාපාරයටද තිත තබා 60 වසරක් සම්පුර්ණ වී ඇති බවත්, නැවතත් එය පණ පොවා මුළු මහත් ජාතියම එකතු කරගෙන ක්‍රියාත්මක කළයුතු ස්වර්ණමය අවස්ථාව අප රටේ සහ ජාතියේ ඉෂ්ට දේවතාවනුත් විසින් උදාකර දී ඇති බවත්, නිවැරදිව තේරුම්ගත්, මෑත ඉතිහාසයේ ජාතියේ පිනට පහල වු එකම ජාති නායකයා වන අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, රටවැසියගේ අනුමැතිය හා ආශිර්වාදය ලබාගෙන නව මුහුණුවරකින් හා නව ජවයකින්, රටපුරා ගම් දනව් සිසාරා ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙමින් පවතින “මහින්ද චින්තන පුනරුද ව්‍යාපාරය”, “නුතන ජාතික ව්‍යාපාරය ලෙස” ඉතිහාස ගතවනු ඇත.
නිදහස් දින අදිටන
ශ්‍රි ලංකාවේ ජනතා රජයේ නිදහස සමරණ අද  දිනයේ
සැට වස සපිරේ නිදහස ලැබිලා තවමත් රට දනගාන වියේ
ගම රට නංවන ජාතික පිළිවෙත් ඒ කාලේ නැත ගොඩ නැගුයේ
“අඬහැර” පමණයි සැට වසරක් තුල රජයෙන් රජයට ඇති වුයේ
“යුග මෙහෙවර” හරිහැටි තේරුම් ගෙන ජනපතිඳුන් නිසි මග යන්නේ
සැට වසරක් වල්මත් වු රටදැය ගොඩනගන්නට අද කැපවන්නේ
එය වටහාගෙන වැසියෙනි අපි හැම අතහිත දෙමු සවිමත් වන්නේ
ඉවසමු මහතුනි! සැමදා ජයවේ! සමගිය සාමය ලඟ එන්නේ
එකම රටක අපි එකම දැයක් වී ජිවත් වෙමු සතුටින් සාමෙන්
රට දැය ආගම නංවා සුරැකි “පෙර රජ පිළිවෙත්” වෙත යාමෙන්
කුහක කතාවට මුලා නොවී අපි, අපගේ දරු පරපුර නාමෙන්
අදිටන් කරගමු නිදහස් දිනයේ පෙරමුණ ගන්නට රජ ගමනේ

රචනය -ශෙවන්ත පෙරෙරා








No comments:

Post a Comment

My Blog List

LEARN

යන්න බැරි සයිට් වලට යන්න මෙතනින්

my mini web browser

Where am I?